Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  නිවන් දකින හැටි
 

බෞද්ධ දර්ශනය කියන්නෙ බුද්ධිමත් දැකීමටයි. බෞද්ධ කියන්නෙ බුද්ධිමත් කියන එකයි. දර්ශනය කියන්නෙ දැකිමටයි. බුද්ධිමතා දකින වැදගත්ම ධර්මය නිවනයි. නිවන කියන්නෙ නිවිමටයි. 

තාපයයි කියන දවන ශක්තිය නැති තැනක් විශ්වයේ කොතැනකවත් නැහැ. මුළු විශ්වයම දැවෙනව. දැවෙන විශ්වයක් මැද්දෙ නිවනක් හැදෙන්නෙ හිතක් අස්සක විතරයි. බුදුහාමුදුරුවො පිරිනිවන්පාන අවස්ථාවෙදී, තමන්ගෙ අන්තිම ශ්‍රාවකයා වූ සුභද්ද පරිබ්‍රාජකයාට ‘සමණො නත්ථි බාහිරෙ’කියල ධම්ම පදයෙ මල වග්ගයෙ දැක්වෙන විධියට දේශනා කළේ හිතෙන් පිට නිවනක් නැති බවයි.

බුද්ධ ධර්මය කියන්නෙ නිර්වාණ ධර්මයටයි. බුදුන්වහන්සේ ලෝකයට ඉදිරිපත් කළ ධර්මය මේ නිවනයි. නිවන ධර්මයක් වශයෙන් දැක්වෙන්නෙ හිතෙන් දරනු ලබන නිසයි. මේ ධර්මය ‘සංදිට්ඨික’ වෙන්නෙත් හිතෙන් දරනු ලබන නිසයි. ‘සංදිට්ඨක’ කියන්නෙ තමාට පෙනෙන බවයි. තමන්ට පෙනෙන්නෙ තමන්ගෙ හිත නිවීමයි. හිත නිවෙන්නෙ බුද්ධිමත් බව පාවිච්චි කෙරෙන ප්‍රමාණයටයි. බුද්ධිය කියන්නෙ නිවරැදි තීරණ ගැනීමේ ශක්තියටයි. බුද්ධිය පාවිච්චි කෙරෙන අවස්ථාවට ‘ප්‍රඥාව’ යි කියනවා. බුද්ධිය පවිච්චි කරන ක්‍රමයට ‘විද්‍යාව’යි කියනව. බුද්ධිය පාව්ච්චි කිරිමෙන් ලැබෙන ඵලයට ‘ආලෝකයයි’ කියනව. ‘පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකො උදපාදි’ කියල දැක්වෙන්නනෙ මේ බුද්ධිමත් අවස්ථා තුනයි. කෙනකුට බුද්ධිමතා  කියන්නේ මේ විධියෙන් බුද්ධිය පාවිච්චි කරන අවස්ථාවෙදීයි.

බුද්ධිය කියන්නෙ හිතේ ගිනි නිවන ශක්තියක්. හිතේ ගිනි නිවන පුළුවන්කාරකමක්. හිත ගිනි ගන්නව කියන්නෙ හිත පීඩාවට පත්වීමයි. හිත නිවිමය කියන්නෙ හිත ඒ පීඩාවෙන් මිදිමයි. හිත ගිනි ගන්නෙ ඇස්, කන්, නාසාදි ආයතන හය (සළායතන) ක්‍රියාකරන ආකාර උඩයි. ඒ ආයතන ක්‍රියා කෙරෙන්නෙ ලේ ධාතුව නැමැති ඉන්ධන මඟිනුයි. ඒ නිසා මෙම ආයතන ගිනි ගන්නෙ ලේ ධාතුවට කැවිලා තියෙන ශක්ති ස්වරූප අනුවයි. අපි කර්ම නමින් හඳුන්වන්නෙ මේ ශක්ති ස්වරූපයි. පාප කර්ම කියන්නෙ උහුලන්න බැරි මට්ටමේ ගින්නක් ඇති කරන ශක්තියක්. පුණ්‍ය කර්ම කියන්නෙ උහුලන්න පුළුවන් මට්ටමේ රස්නයක් ඇති කරන ශක්තියක්. උහුලන්න බැරි මට්ටමේ රස්නයකින් පිච්චි පිච්චි හිටි කෙනාට උහුලන්න පුළුවන් මට්ටමේ රස්නය සැපක් වගේ දැනෙනව. අව්වේ ඇවිදලා ගහක් යටට ආව වගේ සැපයක් දැනෙනව. සංසාර ගමනේදී අපි දේව බ්‍රහ්ම ආදි සුගති ආත්මවල සැප විඳින්නෙ මේ විදයෙන් අව්වට ගස් යට ඉන්නව වගෙයි.

සංසාරය කියන්නෙ චිත්ත පරම්පරාවේ සංසරණයට. චිත්තය කියන්නෙ භවයක්. භවය කියන්නෙ සිදුවීමකට. සිද්ධියකට. චිත්තය කියන හිතත් සිදුවීමක්. සිද්ධවෙන වැඩක්. එක හිතක් හැදිල නැතිවෙන කොට ඒ නැතිවෙන හිතෙන් බලයක් අරගෙන තව හිතක් හැදෙනව. සංසාරයය, භව ගමනය කියල හැඳින්වෙන්නෙ මේ චිත්ත සංසරණයයි. හිතකින් පස්සෙ තවත් හිතක් හැදි හැදී යන සිද්ධි මාලාවයි. සිදුවීම් වැලයි.

හිතක් සිද්ධ වෙනව මිසක් සිද්ධ කරන කෙනෙක් නැහැ. අපට හිතෙනව මිසක් අපි හිතන්නෙ නැහැ. සක්කාය දි‍ට්ඨියය කියන්නෙ අප හිතනවාය කියන වැරැදි වැටහීමයි. මේ වැරැදි වැටහීම නැති කර ගන්ට පුළුවන් ‍වෙන්නෙ හිත් හැදි හැදී නැති වෙවී යන හැටි විමසිල්ලෙන් බලා ඉන්න සතිපට්ඨාන භාවනා ක්‍රමය මඟිනුයි. විදර්ශනාව කියන්නෙ මෙසේ විමසිල්ලෙන් සිත දෙස බැලීමටයි. සිත දෙස විමසිල්ලෙන් ඉන්න කොට ගිනි ගන්න සිත්වලින් වැඩ නොගෙන ඉන්න පුළුවන් වෙනව. ගිනියම් වෙච්ච සිත් වචනචලට හෝ ක්‍රියාවලට හෝ පරිවර්තනය කිරීම නිසයි අපේ පස්සෙන් දුක් පීඩා ලුහුබඳින්නෙ. ‘මනසාචෙ පදුට්ඨෙන භාසතිවා කරොතිවා - තතොනං දුක්ඛමන්චේතී’ කියල ධම්ම පදයෙ ආරම්භක ගාථාවෙන්ම කි‍යවෙන්නෙ දූෂිත සිතින් කථා කිරීම හෝ ක්‍රියා කිරීම නිසා හෝ අපේ පස්සෙන් දුක් පීඩා ලුහු බඳින බවයි.

දූෂිත සිතක් කියන්නෙ පිච්චෙන සිතක්. හිත පිච්චෙන්නෙ ලෝභ ද්වේෂ මට්ටම්වලට හිතේ ගින්න නැග්ගහමයි. රාගයයි කියන ඇලෙන මට්ටමේදී හිතේ ගින්න දැනෙන්නෙ සැපක් වගෙයි.ලෝභය කියන අදින මට්ටමට සිතේ ජවය වැඩි වුණාම ඒ අදින වෙහෙස මහන්සිය හිතට පීඩාවක් වගේ දැනෙනව. ද්වේෂයයි කියන ගැටෙන මට්ටමේදී තමයි හිතේ ගින්න වැඩිවෙලා ගිනි පුලිඟු පිටවෙන්න පටන් ගන්නෙ.

හිත යමක් එක්ක ඇලෙන්නටත්, යමක් අදින්නෙත්, යමත් හා ගැටෙන්නෙත් පරණ පුරුදුවලටයි. මේ පරණ පුරුදු අපේ ලේ ධාතුවේ හැංගිලා ඇස් කන් නාසාදී ආයතනවල තැන්පත් වෙලයි තියෙන්නෙ. යම් යම් නිමිති එක්ක අපේ ඇස් කන් නාසාදීය ඇලෙන්නෙත් ගැටෙන්නෙත් මේ පරණ පුරුදු අනුවයි. දෙවුදත් තෙර ලොවුතුරා බුදු හිමියන්ට වෛර කළෙත් මේ පරණ සංසාර පුරුදු අනුවයි.

අපි යමකට අකමැති වෙන කොට එවැනි දේට නැවත නැවත අකමැති වෙන ශක්තියක් ලේවල තැන්පත් වෙනව. යමකට කැමතිවෙන කොටත් එහෙමයි. ඒත් ඒ කැමැති අකමැති වෙන ශක්ති පාවිච්චි නොකර ඉන්නකොට මධ්‍යස්ථ හිතන් හැදෙනව. හිත මැදහත් වෙන කොට ලේ ධාතුවෙන් ඒ මැදහත් බව තැන්පත් වෙනව.

මැදහත් බව සැඳුණම ප්‍රසංසාවෙදි උදම් වෙන්නෙවත් නින්දාවෙදී කෝප වෙන්නෙවත් නැහැ. ලාභෙදි අමුතු ප්‍රීතියක්වත්, අලාභෙදි අමුතු ශෝකයක්වත් නැහැ. ගිනිගෙන දැවෙන්නේ නැත්තෙ මේ තත්ත්‍වයට පත් වෙච්ච හිතයි. නිවිච්ච හිතයි කියන්නෙ මේ වගේ හිතකටයි. නිවන් දකිනව කියන්නෙ මේ වගේ හිතක් දකින එකයි. තමන්ට බලා ගන්න පුළුවන් තමන්ගෙ හිත විතරයි. තමන්ට නිවන් දකින්ට පුළුවන් තමන්ගෙ හිත නිවිච්ච දාටයි.

සුළු වෙලාවකට හරි නිවිච්ච හිතේ නැවත නැවත තව තවත් නිවී ඉන්න පුළුවන් ශක්තිය තැන්පත් වෙනව. නිර්වාණ ධර්මය ‘ඔපනයිකො’ කියලා කියන්නෙ ඒකටයි. ඒ හින්ද ලෝකෙ සිද්ධ වෙන දේවල්වලින් අපේ සිත රිද්දගන්නෙ නැතිව ඉන්න තරමට අප ගාව නිවන හැදි හැදී ගොනුවෙවී තහවුරු වෙනව. ලෝකෙ සිද්ධ වෙන කිසිම දේකින් හිත රිදෙන්නෙ නැති දාටයි අපේ නිවන අංග සම්පූර්ණ වෙලා අමා මහ නිවනට පත් වෙන්නෙ.

උපුටාගැනීම : අපවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයානන් වහන්සේ විසින් රචනා කරන ලද ලිපි ආශ්‍රයෙනි. ප්‍රකාශනය ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ, 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011