Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  භාවනා කරන හැටි
 

 ï»¿à¶¶à·žà¶¯à·Šà¶°à¶šà¶¸à¶ºà·’ කියන බුද්ධිමත්කම අපේ ජිවිතයට සම්බන්ධ කරගන්නා ආකාරයයි .බුද්ධමත්කම පාවිච්චි ‍කෙ‍රෙන තරමට අපේ ජිවිතයයි කියන පැවැත්ම සැපදායකයි. බුද්ධිය පාවිච්චි නොකෙරෙන තරමට ජිවිත පැවැත්ම පිඩාදායකයි. පුණ්‍ය ශක්තිය කියන්නෙ ජීවිතය සැපවත් කරන පුළුවන්කාරකමටයි. පාප ශක්තිය කියන්නේ ජීවිතය පිඩාවට පත්කරන දුර්වලකමටයි. මේ පාප ශක්තිය පරිහරණය නොකර පුණ්‍යය ශක්තිය වර්ධනය කරන හැටි හැඳින්වෙන්නේ පින් කිරිම කියලයි. ඒත් පින් කිරිම කියන්නෙ කිරීමකට නොවෙයි. නොකිරීමකටයි. සිත පීඩාවට පත් නොකිරීමටයි. පිඩාවයි කියන්නෙ පාප ශක්තිය ක්‍රියාත්මක වීමක්. පීඩාවෙන් මිදෙනවා කියන්නෙ ඒ පාප ශක්තිය ක්‍රියාවට නොනැගීමයි. 

පවෙන් හිත දැවෙනව. ඒ හින්ද පව් නොකර ඉන්නකොට හිත නිවෙනව. කයෙන් හා වචනයෙන් පව් නොකර ඉන්නකොට සිත සිසිල් වෙනවා. සිතෙනුත් පව් නොකර ඉන්නකොට සිත සිසිල් වෙනව. සිතෙනුත් පව් නොකර ඉන්න කොට ඒ සිත තව තවත් නිවෙනව. භාවනාව කියන්නෙ ඒ විදියෙන් සිතේ සිසිල වැඩි දියුණු කිරීමයි. භාවනාව කියන වචනෙ තේරුමත් වර්ධනය කිරීම කියන අදහසයි.

භාවනා කරනව කියල කතාවට කිව්වට එතැනදි සිද්ධ වෙන්නෙත් පින් කිරිමේදී හා සිල් රැකීමේ දී වගේ නොකර ඉන්න වැඩකුයි. භාවනාව දියුණු වෙනකොට පඤ්චේන්ද්‍රියන්ම ක්‍රියා නොකරන ධ්‍යන මට්ටමට සිත පත්වෙනව. ධ්‍යානය දියුණු වුනාම සිතත් ක්‍රියා නොකෙරෙන සංඥාවෙදයිත නිරොධ සමාපත්තියට සමවදින්න පුළුවන් වෙනව.

මේ විධියෙන් සිත නිරුද්ධ කෙරෙන තත්ත්වයට හින්දු ක්‍රමය පත් කළේ බුදුරජාණන් වහන්සේයි. එතෙක් හින්දු භාවනා ක්‍රමය ඉහළම ධ්‍යාන මට්ටම වශයෙන් පැවැතුණෙ නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයයි කියන අෂ්ටසමාපත්තියට පත්වීමයි. බුදුහාමුදුරුවො තනියෙම බුද්ධත්වයට පත්වෙන්න කලින් මේ අරූපාවචර අෂ්ටසමාපත්තියට සමසවදින හැටි ඉගෙන ගත්තේ උද්දකරාමපුත්ත තවුසා කියන හින්දු යෝගියා ගෙනුයි. ඊට කලින් ආකිඤ්චඤ්ඤායතනයයි කියන සප්තම සමාපත්තියට සමවදින හැටි ආලාරකාලාම තවුසා කියන හින්දු යෝගියාගෙන් ඉගෙනගෙන තිබුණා. ඒත් උන්වහන්සෙ බුදුවෙන අවස්ථාවේද අෂ්ටසමාපත්තිය දක්වා සිත දියුණු කරලා, ආපසු සතරවෙනි සමාපත්තියට ඇවිල්ලයි බුද්ධත්වයට පත්වුණේ. මහා පරිනිර්වාණේදී සිද්ධ උනෙත් ඒ දේමයි. අෂ්ටසමාපත්තියේ දී හිත නිරුද්ධව නොවෙන නිසයි එහෙම කරන්ට වුණේ. අෂ්ටසමාපත්තිලාභි හින්දු යෝගාවචරයන් මරණයෙන් පසු බ්‍රහ්ම ලෝකවල නැවත උප්පත්තිය ලබන්නෙ ඒ සමාපත්තියෙන් හිත නිරුද්ධ නොවන නිසයි. වෙනත් ආත්මයක ප්‍රතිසන්ධියක් නොලැබෙන විදියට හිත නිරුද්ධ කරන්න පුළුවන් වෙන්නෙ බෞද්ධ භාවනා ක්‍රමයෙන් විතරයි. නැවත නිසි තැනක උප්පත්තියක් නොලබන නිවනට පත් වන්න පුළුවන් වෙන්නේ ඒ ක්‍රමයෙනුයි.

නිවන් යන මාර්ගයේ උසස්ම අවස්ථාව භාවනාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අන්තිම අංගය භාවනාවෙන් ලැබෙන සමාධියයි. මේ විධියට භාවනාවෙන් අවසන් වෙන නිර්වාණගාමි මාර්ගයේ ආරම්භය දානයයි. අතරමැද කොටස ශීලයයි. ඒ අනුව නිවන් මගේ ප්‍රධාන කොටස් තුන දාන, ශිල, භාවනාවයි. මේ භාවනාවෙන් ලැබෙන නිවන දෙයාකාරයි. එක නිවනක් තාවකාලිකයි. අනික සදාකාලිකයි. තාවකාලික නිවන ලැබෙන්නේ සමථ භාවනාවෙන්. සදාකාලික නිවන ලැබෙන්නෙ විදර්ශනා භාවනාවෙන්. සමථයෙන් කෙරෙන්නෙ කෙලෙස් යටපත් කිරිමක් පමණයි. විදර්ශනාවෙන් කෙරෙන්නෙ කෙලෙස් නිරුද්ධ කිරීමක්.  à¶šà·™à¶½à·™à·ƒà·Š තියෙන්නෙ හිතේ. මේ කෙලෙස් පැහි පැහී ආසාව තත්ත්වයට පත්වෙන්නෙ ඒවා නිතර පාව්ච්චි කරකර අලුත් කරමින් වර්ධනය කරන කොටයි. පාවිච්චි කරන කොට අලුත්වෙවී පණ ගැන්වෙනව. පාවිච්චි නොකර ඉන්න කොට පරණ වෙවී දිරාපත් වෙනව. දානයෙන් කෙරෙන්නෙ කෙලෙස් මලකඩ බැමිබුරුල් කිරීමක්. ශීලයේදී කෙරෙන්නෙ කයෙන් හා වචනයෙන් කෙලෙස් පාවිච්චි නොකර සිටිමක්. භාවනාවේදී කෙරෙන්නේ සිතෙන් කෙලෙස් පාවිච්චි නොකර සිටීමක්.

අපේ සිතේ කෙලෙස් වර්ධනය වන්නේ අපේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් මගින් රූප, ශබ්ද, ගන්ධාදි නිමිති පරිහරණය කරන ආකාරය උඩයි. මේ නිමිති පරිහරණයේදී හිත රිදෙන්නෙ කෙලෙස් මතුවෙන කොටයි. හිතේ රිදීම නැතිවෙල පිනවිමක් ඇති වෙන්නෙ කෙලෙස් යටපත් වෙනකොටයි. ඒ හින්දා කෙලෙස් කියන්නෙ හිතේ රිදුම් මතු කරන ධර්මවලටයි. ලෝභ, දොස, මෝහ කියන්නේ කෙලෙස් මූලවලටයි. ලෝභය කියන්නෙ කැමැත්තට. කැමැත්තක් මතු වෙච්ච ගමන් එය ඉටුවෙනතුරු පවතින්නේ රිදුමත්. දෝසය කියන්නෙ අකමැත්තට. අකමැත්ත අයින්වෙනකල් දැනෙන්නෙ කැමැත්ත ඉටුවෙනකල් දැනෙනවට වඩා තද රිදුමක්. කැමැත්ත හෝ අකමැත්ත හෝ මතුවෙන්නේ මෝහයයි කියන මුළාව නිසයි. කැමැති දේ වටකරගෙන අකමැතිදේ දුරු කරගෙන ලෝකෙ සැපෙන් ඉන්න පුළුවන් කියන මුළාව නිසයි. මේ කැමැත්ත පාවිච්චියට නොගෙන ඉන්න පුළුවන් කියන මුළාව නිසයි. මේ කැමැත්ත පාවිච්චියට නොගෙන ලැබෙන ලැබෙන දේ සතුටින පිළිගෙන මධ්‍යස්ථව සිටිම තමා කෙලෙස් කැඩීමට තියෙන එකම මඟ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නෙ ‍මේ මර්ගයටයි. මාර්ගය තියෙන්නෙ කාමසුඛල්ලිකානුයෝගය කියන කැමැත්තක් අත්තකිලමථානුයෝගය කියන අකැමැත්තක් අතර මැදයි.

මධ්‍යම ප්‍රතිපදාවට පත් සිතක ස්වරූපය හඳුනාගන්න තියෙන පහසුම භාවනාව ආනාපාන සතියයි. ආන කියන්නෙ හුස්ම ඉහළ ගැනීමට. අපාන කියන්නෙ හුස්ම පහළ දැමිමට. ඒ හින්දා ආනාපාන සතියයි කියන්නෙ හුස්ම ඉහළ පහළ යන ආකාරය ගැන සිහියෙනි සිටීමටයි. මේ හුස්ම නිමිති කරගෙන හෙලවෙන හිතේ ලෝභයක්වත් ද්වේෂයක්වත් ඇති වන්නේ නැහැ. ලෝභයක් නැත්තෙ ඕන තරම් ගන්න හුස්ම තියෙන නිසයි. ද්වේෂයක් නැත්තෙ කිසි විටක හුස්ම එපා වෙන්නෙ නැති නිසයි. ඒ හින්දා ආනපාන සතියේදී තියෙන්නෙ අලෝභ, අදෝස, අමෝහ සිතක්. ලෝභ,දෝස,මෝහ නැති නිසා එය කුසල් සිතක්.

හුස්ම ගැන මෙනෙහි කරමින් සිත අඳුනා ගත්තම රූප, ශබ්ද, ගන්ධාදි නිමිති එක්ක ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් සම්බන්ධ වෙන අවස්ථාවලදිත් ඒ කුසල චිත්ත මට්ටම්ම පවත්වන්න හුරුවක් ලැබෙනව. එතකොට රුප, ශබ්ද, ගන්ධාදී සියලුම ලෝකිය නිමිති මෛත්‍රී සිතකින් පරිහරණය කරන හුරුව හැදෙනව. එහෙම වුණාම ලෝකෙ කොතැනත් කොයි වෙලාවෙත්, කොය් දේ එක්කත් පවතින්නේ සැප සිතක්. ලෞකික නිවනය කියන්නේ ලෝකෙත් එක්ක සැප සිතක් පාවිච්චි කිරිමයි. සැප සිතකින් සියලුම ලෝකීය නිමිති පරිහරණය කිරීමයි. ලෝකෝත්තර නිවනට පත්වෙන්න ලැබෙන්නෙ මේ ලෝකය සැපසේ පරිහරණය කරන්න පුළුවන් කෙනාටයි. පරලොව සුගතියක් වෙන්නෙත් මෙලොව සුගතියක් කරගෙන ඉන්න කෙනාටයි.

අපට භාවනාව අවශ්‍ය සැපසේ මේ ලෝකෙ ජීවත් වෙන්නයි. අපේ ඇස්, කන්, නාසාදී ඉන්ද්‍රියන් මඟින් රූප, ශබ්ද, ගන්ධාදී සියලුම ලෝකිය නිමිති සැපසේ පරිහරණය කරන්නයි. කිසිම ලෝකීය නිමිත්තකින් පීඩාවට පත්නොවී නිවන් දකිමින් ඉන්නයි.

හිත පීඩාකර ගැනීම අකුසලයක්. පීඩාවෙන් මුදවාගැනීම කුසලයක්. අකුලලාරම්මණය එනු පීඩා සහිත සිතක ස්වරූපයයි. භාවනාවේදී ‘විතක්කය’ යනු සිතක පිඩා සහගත ස්වරූපයෙන් මිදී පීඩා ස්වරූපයට පත්වීමයි. කුසලාරම්මණයට සිත පත්වීමයි. ‘විචාරය’ යන සිත කුසලාරම්මණයට සිත පත්විමයි. ‘විචාරය’ යන ඒ සිත කුසලාරම්මණයෙම පැවැත්වීමයි. ‘ප්‍රීති’ යනු එයින් ලැබෙන ප්‍රබෝදයයි. ‘සුඛ’ යනු ඉන් ලැබෙන වින්දන ස්වරූපය සිත කය පුරා පැතිරීමයි. ‘ඒකග්ගතා’ යනු ‘විතක්ක, විචාර, ප්‍රිති, සුඛ, යන චිත්ත ස්වරූප එකට ගොන වී තහවුරු විමයි. භාවනාව සාර්ථක වන්නෙ එවිටයි. රූප, ශබ්ද, ගන්ධාදි නිමිති පරිහරණයේ දී සිත කුසලාරම්මණයෙන් නොමිදෙන තරමට භාවනාව සාර්ථකයි. එවිට මෙලොවදීම නිවන් දැකිය හැකියි. මෙලොවම අපට සුගතියක්.

උපුටාගැනීම : අපවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයානන් වහන්සේ විසින් රචනා කරන ලද ලිපි ආශ්‍රයෙනි. ප්‍රකාශනය ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ, 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011