Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  සිල් රකින හැටි
 

     ‘පින් කරන හැටි’ විමසල බලද්දී අපට පෙනුනෙ පින් කිරීමෙ තියෙන්නෙ කරන වැඩක් වෙනුවට නොකරන වැඩක් කියලයි. පව් නොකර ඉන්න කොට කෙරෙන්නෙ පින් කියලයි. මේ පින්, පව් දෙකම හිතෙන් කෙරෙන වැඩක්. පව් කියන්නේ හිත පුච්ච ගැනීමට. පින් කියන්නේ හිත නිවා ගැනීමට. හිත කියන්නේ ඇල්ලීමක්. තදින් ඇල්ලෙන කොට පිච්චෙනව. බුරුලෙන් ඇල්ලෙනකොට නිවෙනව. මේ ඇල්ලීමට අහුවෙන්නෙ ලෝකයයි. මෙතන ලෝකයි කිව්වෙ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන ලෝකීය නිමිතියි. ඒවා ඇලීම කෙරෙන්නෙ ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය කියන ඉන්ද්‍රියන් හය මඟිනුයි.

     ඇස්, කන්, නාසාධී ඉන්ද්‍රියන් අපට තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධාදී ලෝකය අඳුන ගන්නයි. ‘අප්පකිච්ච’ භාවය කියන්නෙ අඳුනාගැනිමේ කාර්යයට පමණක් මේ ඉන්ද්‍රියන් භාවිතා කිරීමයි. ‘මුදු අනති මානි’ කියලා කියන්නේ මේ විධියට ඉන්ද්‍රියන් මෘදුව භාවිතා කරමින්, විත්ත තේජසයි කියන රත්වීම, අඳුනා ගැනීමේ ප්‍රමාණය ඉක්මවලා ගිහින් පිච්චෙන ප්‍රමාණයට පත් නොකිරීමයි. මේ වැඩේ හරියට බැලුවම, කකුල් පුච්චගන්නෙ නැතිව ගිනි අඟුරු උඩින් ඇවිදිනව වගෙ වැඩක්. කකුල පිච්චෙන්න නම්ගිනි අඟුරුත් යටි පල්ලත් එක්තරා කාල සීමාවක් ඇලී පවතින්න ඕන. එහෙම ඇලෙන්න කලින් පය ඉස්සුනොත් ගින්දර රස්නය අඳුන ගන්නව විනා පල්ල පිච්චෙන්නෙ නැහැ. පල්ල පිච්චෙන නො පිච්චෙන විධියට ගිනි අඟුර ඇල්ලිය හැකි ස්පර්ශ කාල ප්‍රමානය ඉක්මවලා ගියොත් පමණයි.

     මේ විධියට අපේ ඇස්, කන්, නාසාදිය යමක් අඳුනා ගැනීමේ සීමාව ඉක්මවා පාවිච්ච් කිරීමෙන් සිදුවන ප්‍රමාණාතික්‍රාන්ත රත්වීම නිසා තමයි ලෝභ,‍ ද්වේෂාදී නම් වලින් හැඳින්වෙන කාන්දම් ශක්ති හිතේ හැදෙන්නෙ. සිත යම් යම් නිමිති එක්ක ඇලෙන්නෙත් ගැටෙන්නෙත් මේ කාන්දම් ශක්තිය නිසයි. මේ ඇලීමෙන් හා ගැටීමෙන් මිදිච්ච සිතට තමා නිවිච්ච සිත කියන්නෙ. ශීලය කියන්නෙ සිතේ පවතින මේ නිවීමටයි. සිසිල් ගතියටයි. සිත සිසිල් නම් ඒ සිතෙන් කෙරෙන ක්‍රියාවලත්, කියැවෙන වචනවල ති‍යෙන්නෙ සිසිල් ගතියක්. සෞම්‍ය ගතියක්.එම නිසා සෞම්‍ය වචනවලින් හා ක්‍රියාවලින් යුක්ත භාවයට සිල්වත්කමයි කියලා කියනවා.

‘සම්මා වාචා’ කියලා ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් දැක්වෙන්නෙ සංවර වචනයයි. ‘සම්මා කම්මන්ත’ කියල දැක්වෙන්නේ සංවර ක්‍රියායි. මේ ආර්ය අෂ්‍ටාංගික මාර්ගික ශීලයේ කායවාක් සංවරය වශයෙන් දැක්වෙන්නේත් කෙරෙන වැඩක් නොවෙයි. ‍නොකෙරෙන වැඩකුයි. ‘සම්මා කම්මනතයේ දී ‘පාණාතිපාතා, අදින්නාදානා, කාමේසුමිච්ඡාචාරා’ කියලා කයෙන් කෙරෙන පව් තුනක් දැක්වෙනව. සම්මා වාචාවේදී ‘මුසාවාදා, පිසුණාවාචා, පරුසාවාචා, සම්පප්ප්‍රලාපා’ කියල වචනයෙන් කෙරෙන පව් හතරක් දැක්වෙනව. මේ විධියට කයේ කෙරෙන පව් තුනක් වචනයෙන් කෙරෙන පව් හතරක් නොකර ජීවිතය පවත්වා ගැනීමට තමා ‘සම්මා ආජීව’ කියල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දැක්වෙන්නේ. බෞද්ධ ශීලයට අයත් ආ‍ජීව අෂ්ටමක ශීලය හැදෙන්නේ මේ කාය සංවර තුනත් වාග් සංවර හතරත් මිච්ඡාවජීව විරතියත් එක් වෙලයි.

බුද්ධොත්පත්තියට ඉතා ඇත අතීතයේ පටන් ශිෂ්ට සම්පන්න ඉන්දියානු සමාජ ජිවිතයේ සම්මතයක් වශයෙන් පැවතිච්ච පංච ශීලය අගට එන ‘සුරාමෙර විරතිය’ මේ බෞද්ධ ශීලයේ අංගයක් බවට පත්වෙලා නැහැ. කුරුධර්ම ජාතකයේ කුරුධර්මයන් වශයෙන්දැක්වෙන්නේ මේ පංච ශීලයයි. ඒ වුනත් බුද්ධභාෂිතයක් වන සිඟාලෝවාද සුත්‍රයේ සතර කර්මක්ලෙශයන් වශයෙන් දක්වලා තියෙන්නෙ ‘ප්‍රාණඝාතය, අදත්තාදාන, කාමමිත්‍යාචාරය, මුසාවාද’ කියන හතර විතරයි. ‘සුරාමේරය’ ට ඇතුළත් වෙලා නැහැ. ඒත් සිඟාලෝවාද සුත්‍රයේ දැක්වෙන භෝග විනාශ මුඛ හයේ මුලටම එන්නේ මත්පැන් පානයයි.

මත්වීමේ ඇති දෝෂය ඇත්ත ඇති සැටියේ නොපෙනීමයි. නිති විග්‍රහයට අනුව ‘මත්වූවෝ’ වශයෙන් දැක්වෙන්නෙත් ‘උමතුවූවෙක්’ වශයෙන් දැක්වෙන්නෙත් ඇත්ත ඇති සැටියෙන් වටහාගත නොහැකි තැනැත්තකුයි .බෞද්ධ දර්ශනයේ මෝහය වශයෙන් දැක්වෙන්නෙත් ඇත්ත ඇති සැටියේ වටහාගත නොහැකිකමයි.

හැම පාපයකටම මුල් වෙන්නෙ මෝහයයි. ‘ලොභ, දෝස, මෝහ” වශයෙන් පාප මූල තුනක් දක්වල තිබුණට එයියුත් මූලික වන්නෙ මෝහයයි. ද්වේෂය පැන නගින්නේ ලෝභය මුල් කරගෙනයි. ඒ ලෝභය පැන නගින්නේ මෝහය මුල් කරගෙනයි. ඒ නිසා පාපයට මූලික හේතුව මෝහයයි. මේ මෝහය දුරු කෙරෙන අවස්ථාවන් තුනක් තියෙනව. මුලටම කෙරෙන්නෙ සුතඥානය මගින් මෝහය දුරුවීම. ඊලඟට චින්තාමය ඥානය මඟින්, අන්තිමට භාවනාමය ඥානය මගින්. ‘සුත’ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ අහල දැනගැනීම. ‘චිත්ත’ අවස්ථාවෙදි හිතල දැනගැනීම, ‘භවනා’ අවස්ථාවෙදී ප්‍රත්‍යක්‍à·‚ අවබොධයෙන් දැන ගැනිම. පාපයට මුල්වන හේතු මෙසේ ප්‍රත්‍යක්‍ෂාවබෝධයෙන් දැනගත්තත්, පවෙන් මිදෙන විද්‍යාව හුරුවෙනකල් අපට පවෙන් මිදෙන්ට බැහැ. ‘විජ්ජා උදපාදි’ කියල ධම්මචක්ඛප්පවත්තන සුත්‍රයෙ දැක්වෙන්නේ මේ විද්‍යාව පහළ විමයි. මුළුමනින්ම පවෙන් මුදවන විද්‍යාව පහළ වෙන්නෙ බුදු, පසේ බුදු, මහරහත් බවට පත් වුනාමයි.

ඒ සර්ව නිර්දෝෂි ආර්ය භාවයට පත් වෙනතුරු අපට කරන්ට පුළුවන් වෙන්නෙ තාවකාලික පවෙන් වැළකෙන එකයි. ඒ තාවකාලික පාප විරතිය ස්ථාවර විමට තමයි අරහත්භාවය කියලා කියන්නෙ. මේ අරහත් භාවයට පත්වීමේ දි සිද්ධ වෙන්නේ ‘කාම’ නමින් හැඳින්වන චිත්ත කාන්දම් ශක්තිය අහෝසි වීමයි.ඒ ශක්තිය අහෝසි වුණාම එයින් කෙරෙන ක්‍රියාව නවතිනව. ‘කාම’ කියන ශක්තියෙන් කෙරෙන්නෙ ‘රාග’කියන ඇලිමයි. රහත් වෙනකොට නැතිවෙනනේ ‘රූප රාග, අරූප රාග’කියන ඇලීයි.

අපි යමකට ඇලෙන්නෙ එය නතර කරගන්න. අනිත්‍ය දෙයක් නිත්‍ය කරගන්න. මෙසේ නැත්තක් ඇත්ත කිරීම මුසාවාදයක්. එසේ මුසාවකට ඇලීම කාමයේ වරදවා හැසිරිමක්. කාමයයි කියන කැමැත්ත වැරැදි විදියට නොහොත් පීඩාවට හේතුවන විදියට පාවිච්ච් කිරීමක්. ඇලිම එයින් නවතින්නේ නැහැ. නොලැබිච්ච දේක ඇළුණු සිත. එය ලබන්ට වෑයම් කරනව. මේ ක්‍රියාවට ‘අදින්නාදානක්’ නොදුන් දේ ගැනිමක්. එයින් වන්නේ ප්‍රාණවධයක්. ප්‍රාණ කියන ජිව ශක්තිය තියෙන්නෙ හිතේ. ‘චිත්ත’ කියන ක්‍රියා ශක්තිය තියෙන්නෙ යමක් හඳුනා ගන්ට පමණයි. ඒ ශක්තිය ප්‍රමාණය ඉක්මවා පාවිච්චි කිරීමට තමා ප්‍රාණ+අති+පාතයෙන් හිත පිච්චෙනව. ශිලය කියන්නෙ මේ ගින්න සිසිල් කර ගැනීමටයි. ඒ සඳහා ගත යුතු මුල් පියවර වන්නෙ ගිනිගත් සිත වචනයට හා ක්‍රියාවට නොනැගිමයි. කාය, වාක් සංවරය කියන්නේ මේ ශිලය තමන්ට වගේම අනුන්ටත් සුවයක්. ඒ නිසා ශීලයේ මූලිකම ලක්‍ෂණය මෛත්‍රියයි. නිවන් දුටු සිතක තියෙන්නේ මෛත්‍රිය කියන සෞම්‍ය තේජස් මට්ටම පමණයි. මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමය කියන්නේ මේ සෞම්‍යචිත්ත තේජස් මට්ටම හදාගෙන සැප විඳීමයි. එහෙම වෙන්නෙ ‘ආලොකො උදපාදි’ වෙල හැම තැනම හැම විටම සැප පමණක් දැකගන්ට ලැබෙන නිසයි. හැම කෙනෙක්වම හැම දෙයක්ම සැපයට හේතුවෙන නිසයි.

උපුටාගැනීම : අපවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයානන් වහන්සේ විසින් රචනා කරන ලද ලිපි ආශ්‍රයෙනි. ප්‍රකාශනය ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ, 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011