Gurudevayano
Drarma Vigraha
Prakashana
thisarana
Mulika Vigraha
Pinkam
Vedasatahan
Peramuna
sambanda
Sanwada
 
  පින් කරන හැටි
 

බෞද්ධකම කියන්නේ බුද්ධිමත් භාවයටයි. බුද්ධිය කියන්නෙ සැපවත් හිතක් හදන ශක්තියටයි. පුළුවන්කාරකමටයි. ‘බුද්ධ’ භාවයට පත්වෙන්නේ මේ ‘බුද්ධි’ ශක්තිය කියන පුළුවන්කාරකම දියුණු කරගත් කෙනයි. ‘බෞද්ධකම’ කියන්නේ මේ බුද්ධභාවය හදන ක්‍රියා පිළිවෙළටයි. මේ ක්‍රියා පිළිවෙළේ මූලික ලක්ෂණය පින් කිරීමයි.

      ‘පින’ කියන්නේ පිනවිමෙන් යුත්ත චිත්ත ස්වරූපයකට ‘පින්කම’ කියන්නේ මේ සැපවත් චිත්ත ස්වරූපය සදන ක්‍රියාවට. පිනවන සුළු චිත්ත ස්වරූපයක් හදාගන්න පින්කම් කරන ඕනෑ වෙන්නේ පිනවීම සහිත චිත්ත ස්වරූපය නැති හෝ අසම්පූර්ණ කෙනයි. ඒ වුනත් පිනවිම සර්ව සම්පූර්ණ වෙච්ච කෙනාට තව තවත් පින්කම් කරන්ට අවශ්‍ය වන්නේ නැහැ. ඒ තත්ත්‍වයට පත් වුණාමයි, බුදු, පසේ බුදු, මහරහත් වෙන්නේ. මේ ආර්ය භාවයට පත් උත්තමයෝ පව් කරන්නේවත් පින් කරන්නේවත් නැහැ. කුසල කර්ම, අකුසල කර්ම දෙකම රැස් කරන්නේ නැහැ.

     අපි කුසල් රැස් කරනවා කිව්වට සැබෑ වශයෙන් කරන්න තියෙන්නේ රැස් කිරීමක් නොවෙයි. අස් කිරිමක්. අකුසල් අස් කිරීමක්. අකුසල් අස් වෙන්න වෙන්න රැස් වෙන්නේ කුසල්. පව් අයින් වෙන්න වෙන්න ළං වෙන්නේ පින්. බෞද්ධ ප්‍රතිපදාව රැස් කරන ක්‍රමයක් නොවෙයි. අස්කරන ක්‍රමයක්. මේ අස් කිරිම කෙළවර වෙන්නේ සඳහටම මුළු සංසාරෙන්ම අස් වෙලයි. අමා මහා නිවනට පත් වෙනවා කියන්නෙ මේ විධියට සංසාරෙන් අස් වෙනවා කියන එකයි. සසර දුකින් නිට්ටාවට මිදෙවා කියන එකයි.

     සසර දුක මුළුමනින්ම කෙළවර කිරිම් එක පාරටම කරන්ට පුළුවන් වැඩක් නොවෙයි. ‘ථොක ථොකං- ඛණෙ ඛණෙ’ කියලා ධම්ම පදයේ මල වග්ගෙ පස්වෙනි ගාථාවේ සඳහන් වෙනවා වගේ ටිකෙන් ටික, මොහොතෙන් මොහොත කළ යුත්තක්. ඒ ඒ වෙලාවට පොඩ්ඩ පොඩ්ඩ දුකෙන් මිදිලා තමා මුළුමනින්ම සසර දුකෙන් මිදෙන්න පුළුවන් වෙන්නෙ.

     බෞද්ධ ක්‍රමය අනුව දුකෙන් මිදෙන්නේ හේතු ථල ධර්මයට අනුවයි. හේතුව අයින් කිරීම මඟින් ඵලය අයින් කරලයි. ඒ හින්ද දුකට හේතුව අයින් කළාම දුක අයින් වෙනව. දුක අයින් කළාම තියෙන්නේ සැප. ඒ හින්දා සැප කියන්නේ අලුතින් හදන දෙයක් නෙවෙයි. තියන දෙයක්. දුක අයින් කළාම මතු වෙන්නේ ඒ තියෙන සැපයයි. ඒ කියන්නේ පව අයින් කළාම පින මතු වෙනවා කියන එකයි. පින සමඟ තියෙන්නේ සැප. පව සමඟ තියෙන්නේ දුක.

 à¶½à·œà·€à·”තුරා බුදුවරුන් නිරාවරණය කරන චතුරාර්ය සත්‍යයේ මුලින්ම දැක්වෙන්නේ දුකයි. දුක්ඛ සත්‍යයයි. ඊළඟට දැක්වෙන්නේ දුකට හේතුවයි දුක්ඛ සමුදය සත්‍යයයි. මේ සත්‍යය මුල්ම වරට සඳහන් වෙන්නේ පස්වග මහණුන්ට දේශනා කරන ලද ධම්මචක්ඛප්පවත්තන සුත්‍රයෙයි. ඒ දේශනාවෙදී දුකට හේතුව වශයෙන් දක්වල තියෙන්නෙ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ත්‍රිවිධ තණ්හාවයි.

     කාම තණ්හා, කියන්නේ කාමයයි කියන කැමැත්ත අවදිවීමට. භව තණ්හා කියන්නෙ ඒ කැමැත්ත ඉටුකර ගැනීමේ සිත පහළ වීමට. විභව තණ්හා කියන්නෙ ඒ කැමැත්ත තමන් කැමැති ආකාරයට මිස ඊට වෙනස් ආකාරයකට සිද්ධ නොවේවා කියන සිත පහළ වීමට. මේ ත්‍රීවිධ තණ්හාවට මුල් වන්නේ කාම කියන කැමැත්තයි.

     කැමැත්තක් අවදිවුණාම ඒ කැමැත්ත තමන් කැමැති ආකාරයට ඉටු වෙනකල් සිතේ පවතින්නෙ එම පීඩාවක්. කැමැත්ත ඉටුවුනාම සැපැක් වශයෙන් අපට දැනෙන්නේඑම පිඩාව අයින් විමයි. ඒ හින්දා අපි සැප විඳිනව කියලා කරන්නෙ අපම හදාගත්ත දුක් පීඩා අයින්කර ගැනිමක්. අපිම දුක් පිඩා හදා ගන්නෙ නැත්නම් අප ගාව තියෙන්නේ සැප විතරයි. ඒ හින්දා සැපයි කියන්නෙ හදන්ට පුලුවන් දෙයක් නොවෙයි. පරම සැපය වන නිර්වාණ ධර්මය ‘අකත’ය අසංඛත’ය කියලා කියන්නේ නිර්වාණ සැපය හදන දෙයක් නොවන නිසයි. පින් කරනවා කියලා අප කරන්නෙ මේ හදන්ට දෙයක් නැති නිවන් සැපය ටිකින් ටික මතුකරන එකයි.

     දහ ආකාරයක පින්කම් ගැන කියන දශ පුණ්‍ය ක්‍රියා වස්තුවල මුලින්ම දක්වල තියෙන්නෙ දාන, ශිල, භාවනාවයි. දානය කියන්නේ අත් හැරීමට. කාමයයි කියන කැමැත්ත අත් හැරීමට. කැමැත්තයි කියන කාන්දම් ශක්තිය අවදි වුණා ම හිත රත්වෙලා පිඩාවට පත්වෙනව. කාම විතක්කයෙන් ව්‍යාපාද විතක්කයටත්, ව්‍යාපාද විතක්කයෙන් විහිංසා විතක්කයටත් පත් වෙනවා. විතක්කය කියන්නේ ඇදෙනව පනිනව කියන එකයි. යමකට සිත ඇ‍‍ඳෙන්නෙ නැත්නම් පනින කාම නොහොත් කාන්දම් ශක්තිය හීන වෙන්න වෙන්න සිත නිවෙන්න පටන් ගන්නව. ශීලය කියන්නෙ ඒ නිවිමෙන් ඇති වෙන සිසිලටයි. භාවනාවය කියන්නේ ඒ සිසිල වැඩි දියුණු කිරිමයි. භාවනාවෙන් සිත සිසිල් කර කර නිවල තව සිසිල් කරල නිවන්න දෙයක් නැති වුණා ම නිවන් දකිනවා කියල කියනව. නිවන් දැකිමට කියන්නේ හිතේ නිවීම දැකිමටයි. හිත නැවත රත් නො වන මට්ටමට නිවිම තමා අමා මහ නිවන කියලා කියන්නේ. ඒ අවසාන මට්ටමට සිත නිවා ගැනිම නම් අපට හැම තිස්සෙම කරන්නත් දකින්නත් පුළුවන් දෙයක්.

     බුදු හාමුදුරුවෝ මේ නිර්වාණ ධර්මය අපට මනාව පැහැදිලි කරල දීල තියෙනවා ‘ස්වාක්ඛාතෝ භගවතා ධම්මො’ කියන්නේ ඒකයි. ඒ නිවිමෙ ධර්මය අපට ම දැන ගන්න පුළුවන්. ‘සංදිට්ඨිකො’ කියන්නෙ එහෙම දැක ගන්න පුළුවන්කමටයි. ‘අකාලිකකො’ කියන්නේ සිත නිවිච්චි ගමන් ම එහි සැපය කල් නොයවා එවෙලෙම දැනෙන බවයි. ‘එහි පස්සිකො’ කියන්නේ මේ බලහං උඹේ සිත කොච්චර නිවිල ද, කොච්චර සැපද? කියල ඒ සිතම කියන බවයි. ‘ඕපනයිකො’ කියන්නේ වරක් නිවිච්ච සිත නැවත නැවත ඒ වගේ නිවන බවයි. උපනයනය වන බවයි. ‘පච්චත්තං වේදිතබ්බො විඤ්ඤුහීති’ කියන්නෙ මේ නිවිම තමාට ප්‍රත්‍ය වෙන ප්‍රමාණයට දැනෙන බවයි. සෝවාන් ඵලයේ දි එක මට්ටමකට නිවිම දැනෙනව .සකෘදාගාමි ඵලයේදී තව මට්ටමකට දැනෙනවා. අනාගාමි ඵලයේදී ඊටත් වැඩි මට්ටමකට දැනෙනව. රහත් ඵලයේදි අන්තිම මට්ටමට සිත නිවීම දැනෙනවා.

     පින් කරනවා කියන්නේ සිත පිනවන ආකාරයට නිවා ගන්න එකයි. බුදුන් වැදිම, මල් පහන් ආදිය පිදීම, දානමානදිය දිම සිල් ගැනිම,බණ ඇසිම භාවනා කිරිම ආදිය පින් කිරීමට යොදා ගන්නා සම්මත උපක්‍රම වගයක් විතරයි. ඒ වුනාට මේ සම්මත උපක්‍රම නැතුවත් පින් කරන්ට පුළුවන්.

     අපට ඕනෑ කරන්නේ හැම වේලාවකම හැම තැනකම පින් කරන්නයි. පිනවන සිතකින් ඉන්නයි. ඒ ඒ තැන තියෙන දේත්, ඉන්න අයත් සිතින් අදින ලෝභයයි. සිතින් තල්ලු කරන ද්වේෂයයි, නැත්නම් අපට තියෙන්නෙ පින් සිතක්. පින් සිතයි කියන්නෙ ලෝභ, දෝස නැති සිතක්. පව් සිතයි කියන්නෙ ලෝභ, දෝෂ ඇති සිතක්. පීඩාකාරි සිතක්. පිනවන සිතක් කියන්නේ ලෝභ, දෝස රහිත සිතක්. පින් කරනවා කියන්නෙ මෛත්‍රී සිතක්. ඒ විදියේ පින් සිත් නම් අපට හැම වෙලාවේදීම, හැම තැනකදීම හදා දාගන්න පුළුවන්. එහෙව් සිතක් හදාගත්තම හැම වේලාවෙම අපි ඉන්නෙ නිවන් දකිමින්. අමා මහ නිවන් සැප භුක්ති විඳිමින්.

     අලෝභ,අදෝස සිතක් හැදුණාම,අපට හැමදේම හැම කෙනාවම පෙනෙන්නෙ මිත්‍ර ස්වරූපයෙන්. මෛත්‍රී කියන්නේ මේ මිත්‍රභාවයටයි. ඒ හින්ද ලොකුම පින්කම මෛත්‍රී කිරීමයි. ‘තිට්ඨං චරං නිසින් නෝවා සයානොවා යාවතස්ස විගතමිද්ධො’ කියල කරණිය මෙත්ත සුත්‍රයෙ කියා තියෙන විධියට ඉඳගෙන ඉන්න කොටත්, හිටගෙන ඉන්න කොටත්, ඇවිඳින කොටත්, ඇලවෙලා නින්දට යනතුරුත් අපට මේ මෛත්‍රී සිත පවත්වන්න පුළුවන්. අපේ බුදු හාමුදුරුවෝ බුද්ධත්වයෙන් පස්සෙ පළවැනි සතියේ දී වාඩිවෙලත්, දෙවැනි සතියෙදී හිටගෙනත්, තුන්වැනි සතියෙදී සක්මන් කරමිනුත්, සතරවැනි සතියෙදි ඇලවෙලා සයනාගතවත් පරික්ෂා කරලා බැලුවෙ බුද්ධත්වයෙන් හදාගත්ත මහා කරුණා මෛත්‍රී සිත හතර ඉරියව්වෙන්ම පවත්වන්න පුළුවන්ද කියලයි. ඒ උත්තමයාව ගුරුකමට ගන්න අපටත් අපේ මට්ටමින් මෛත්‍රී සිත පවත්ව පවත්ව අපේ මට්ටමෙන් නිවන් දැක දැක, පින් සිතින් ඉන්න පුළුවන්.

උපුටාගැනීම : අපවත්වී වදාල කෝට්ටේ ශ්‍රී දේවානන්ද ගුරු දේවයානන් වහන්සේ විසින් රචනා කරන ලද ලිපි ආශ්‍රයෙනි. ප්‍රකාශනය ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණ, 417, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

  ආපසු

මුල් පිටුව | ගුරු දේවයාණන් | ධර්ම දේශනා | ධර්ම පකාශන | තිසරණ | මුලික විගහ | වාර්ෂික පිංකම් | වැඩසටහන් | පෙරමුණ ගැන | සම්බන්ධවිම | සංවාද
ප්‍රකාශන හිමිකම © ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ - 2011